
කරුණු කීපයක් නිසා ඇතා මිනිසුන්ගේ විශේෂ සැලකිල්ලට භාජනය වී ඇත. ඇතා මිනිසුන් දුටු විශාලම සතා ය. වැඩිම ශක්තියක් ඇති සතා ද ඇතා ය. සතුන් අතරින් බුද්ධිමත් සතා වශයෙන් ඇතා ගණන් ගනු ලැබේ. හින්දු දේව කතා අනුව බුද්ධියට අධිපති දෙවියන් වූ ගණ දෙවියන්ට ඇත්තේ ද ඇත් මුහුණකි. කොතරම් විශාල ශරීරයක් හා ශක්තියක් තිබුණත් ඇතා හීලෑ වී මිනිසුන්ගේ වැඩට උදව් වීමට පටන්ගෙන අවුරුදු දහස් ගණනක් ගත වී ඇත. කුඩා ආයුධයක් වූ හෙණ්ඩුවට ඇතා බිය වීම ද මිනිසුන්ගේ කකුසට හේතු විය. එය තනා ඇත්තේ ඇත් කඳ ළිහිණියකුගේ නියපොත්තක ආකාරයට බවත් ඇත්කඳ ළිහිණියාට ඇතා කොයි තරම් බයද කීවොත් උගේ නියට ද ඇතා බිය වන බව කියති. . කෙසේ වුවත් ඇතා සෞඛ්‍ය සම්පන්න පුෂ්ටිමත් සතෙකු බැවින් ඌ දැකීම වාසනාවන්ත දෙයක් හැටියට මිනිස්සු සලකති එක තත්පරයක් හෝ නිසලව නොසිටින ක්‍රියාකාරී සතෙකු වීම ද උගේ හොඳ ගුණයක් ලෙස සැලකේ. මේ හේතු නිසා ඇතා මුල් කරගෙන ඇති වී ඇති අධිවිවෙස වෙත ගොස් ඒවායින් කීපයක් මෙසේ ය.
1. ඇතෙකු උදේ පාන්දරම දැකීම දවස පුරා වාසනාව ගෙන ඒමට හේතුවකි.
සමහරුන් ඇනෙකු උදේ පාරේ යනොත් කරමින් සිටි වැඩය නවත්වා ඇතා දෙස බැලීමට පෙළඹෙන්නේ එම විශ්වාසය නිසා ය. සුහ වස්තු අතර ද පෙරමඟ සුභ නිමිති අතර ද ඇතාගේ නම සඳහන් වේ.
2. සමහර ඇතුන්ගේ දළ තුළ සිතූ පැතූ සම්පත් දෙන ගජ මුතු ඇත.
මේ විශ්වාසය දරන අය ඇත් රාජයින්ගේ හිස උස් පහත් කරන විට සලං යන ශබ්දයෙන් එම මුතු දළ තුළ එහා මෙහා යන බව කියති. මෙවැනි ගජමුතු ඇති බවක් ඇත් දළ කපා බැලූ අය දැක නැතත් මෙවැනි ද්‍රව්‍යයක් ගැන අතීතයේ පටන් විශ්වාසයක් පැවති බව පෙනේ.
3. ඇතාගේ වලිගයේ අග ඇති කෙඳි ශරීරයේ පැළඳ ගැනීමෙන් වාසනාව ළගා වේ.
කාන්තාවන් ඔවුන්ගේ මුදු හා වළලුවල එම කෙඳි ගිල්වා පැළදීමට වර්තමානයේ ද කැමති බව පෙනේ. මේ සඳහා මුල් කාලයේ මළ ඇතුන්ගේ කෙඳි ගලවා ගැනීමට උනන්දු විය. එහෙත් ඇත්ගොව්වන් කියන්නේ මේ සඳහා ජීවමාන ඇතුන්ගේ කෙඳි ගැලවීමට පවා සමහරුන් රහසිගතව උත්සාහ ගන්නා බවයි. මේ නිසා ඇතුන් කුලප්පු වී අනතුරු කරන අවස්ථා ද ඇති බව කියති.
4. අලි හක්ක ගල ගා කම්මුලේ ගෑ විට කම්මුල්ගාය සුව වේ.
මෙය ඖෂධයකට වඩා කෙමකට ආසන්න ය. සමහර ගෙවල මළ ඇතෙකුගේ හක් කැබැල්ලක් රැක තබාගෙන ඇත. ඒ අවශ්‍ය අවස්ථාවලදී ගැනීම සඳහා ය. එම අලි හක්ක ගමේ වෙනත් ගෙවලට ද ගොස් ප්‍රයෝජනයට ගනී.
5. ඇතින්නකට පැටියකු ලැබුණු විට රැලේ අනික් හැම ඇතින්නකට ම කිරි එරේ.
මෙම විශ්වාසය තදින් පැතිර යාම නිසා කවියන් පවා දරු පෙම ගැන කියන අවස්ථාවලදී මෙබඳු කියමනක් ඉදිරිපත් කරනු ලැබේ. මෙහි සත්‍යයක් නැතැයි සතුන් ගැන නිරීක්ෂණය කරන අය පවසති. මෙබඳු විශ්වාසයක් ඇති වීමට හේතුවන්ට ඇත්තේ ඇතින්නකට ලැබුණු පැටියා රැලේ පැටවුන් ලබා ඇති වෙනත් ඇතින්නන්ගෙන් ද කිරි උරා බීමට එළඹුණු නිසා විය යුතු ය. ඇතින්නකට පැටවෙකු ලැබුණු විට රැලේ අනිත් ඇතින්නන් ඇය ගැන විශේෂ අවධානයකින් කටයුතු කරන බව කියති. ඇතින්න දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ එය පිටට දර්ශනය වීමෙන් වැළැක්වීමට රැලේ ඇතින්නන් ඇය වටකර ගන්නා බවත් එසේ ම පැටවා ලැබුණු පසු අවශේෂ ඇතින්නන් පැටවා සුරතල් කරන බවත් සත්ව චරියා ගැන කරුණු සොයන්නන් පෙන්නා දී ඇත. ඇතා වයස් ගත වී මරණාසන්න වූ විට කිසිවකු නොදන්නා ඇතුන්ගේ සොහොනක් කරා ගොස් මිය යන්නේ යයි ද විශ්වාසයක් පැවතුනත් එය ද මිත්‍යාවක් බව කියති.
6. ඇතාට යමෙක් හිරිහැරයක් කළොත් ඌ එය බොහෝ කාලයක් මතක තබා ගෙන සිට පලි ගනී.
මේ සම්බන්ධයෙන් විවිධ කතා ප්රචාරයට පත් වී ඇත. එක් තරුණයකු ඇතකුට ගලකින් ගසා හිරිහැර කළ බවත් ඇතා එම ගල හක්කේ සහවාගෙන සිට අවුරුදු ගණනකට පසු එම තරුණයා හමු වූ අවස්ථාවක එම ගලෙන් ගසා තරුණයා මරා දැමූ පුවතක් අසන්නට ලැබේ. එම කතාවේ සත්‍යතාව කෙසේ වුවත් ඇති වෙනත් සතුන්ට වඩා මතක තබා ගැනීමේ ශක්තියක් ඇති සතෙකු බවට සාධක ඇත. ඇතාගෙන් වැඩ ගැනීමට ඇත් ගොව්වන් වෙනම අලි භාෂාවක් යොදා ගනී. එය මතක තබා ගත යුතු විධාන රාශියකින් යුක්ත ය. ඒ මෙසේ ය.
දහය :- නැගී සිටින්, ඉදිරියට පලයන්
දහ පුරු :- ඉස්සරහට ගොස් ඇනපන්
දහ පුරු මෑ :- ඉස්සරහට ගොස් ඇන පාගාපන්
දහ උදෙරි :- ඉස්සරහට ගොස් හොඬය උස්සා කඩාපන්
දහ උඩුදෙරි පුරු :- ඉස්සරහට ගොස් දළින් ඇනපන්
දෙරිය :- ගනින්, බීපන්
පුරු :- ඇනපන්
පුරුම :- ඇනලා පාගපන්
ඉඩ:- පැත්තකට වෙයන්
ඉඩ පුරු :- පැත්තකට ඇනපන්
ඉඩ දෙරි :- පැත්තකින් කඩා ගනින්
නෙත් තෙත් :- පස්සට වෙයන්
හෝ:- නැවතියන්
බිල :- පිටට නැගීමට ඉස්සරහ කකුල උස්සාපන්
උඩු බිල :- තව උඩට
බිලම :- ඉස්සරහ කකුලෙන් පාගපන්
බිල පුරුම :- ඉස්සරහ කකුලෙන් පාගා පොඩිකරපන්
පස්ස බිල :- පස්ස කකුල උස්සාපන්
බිල දහ :- අඩිය ඔසවා කඩා පලයන්
හිද :- ලැගපන්
හේ හිද :- නැවතී ඉඳින්
දැතුම් :- දණගහපන්
පිඹු :- කුංචනා ද කරපන්
මොක :- නිකන් ඉන්න බැරිද?
මෙම අණ ඇතාට මතක තබා ගත හැකිනම් ඌට බුද්ධියත් මතකයත් දෙකම ඇත. එසේ ඇත්ගොව්වා බිමත්ව අවකල්පනාවෙන් කටයුතු කරන විට පවා නියමිත කාර්ය කිරීම, ආපසු නවාතැනට පැමිණීම වැනි කටයුතු කිරීමට ඇතාට හැකි ය.
Comments
Post a Comment